2 years ago

ප්‍රීතිමත් විවාහ ජීවිතයක් සඳහා පියවර තැබීමට නම්.

මෙලොව ජීවත් වන බොහෝ දෙනෙකු ආදරය ලැබීමට ප්‍රිය කරති. එමෙන්ම ප්‍රීතිමත් විවාහ ජීවිතය ගත කිරීමට අපේක්ෂා කරති.එසේ වුවත් බොහෝ දෙනෙක් සාර්ථක විවාහ ජීවිතයක හිමිකරුවන් නොවෙති. ඇතැම් විවාහ ජීවිත අතරමගදී බිඳ වැටෙන අතර ඇතැම් විවාහ ජීවිත නීරසව ගලා යයි. එසේ නම් සතුට සපිරුණු, සාර්ථක බැඳීමකට හිමිකරුවකු වන්නේ කෙසේද? ඉතා සරලයි.පහත කරුණු අනුගමනය කිරීම තුළින් ඔබට ප්‍රීතිමත් ජීවිතයක් ළඟා කර ගත හැක. 1. විශ්වාසය ගොඩ නගා ගන්න. ආදරයේ පදනම වන්නේ විශ්වාසයයි. විස්වාසය බිඳී ගිය කල දෙදෙනකු තුළ පවතින සහසම්බන්ධතාවයද නිරායාසයෙන්ම බිඳී යයි. පළුදු වූ බැඳීමක් නැවත සකස් කර ගැනීම එතරම් පහසු දෙයක් නොවේ. එබැවින් ඔබේ සැමියාගේ හෝ බිරිඳගේ විශ්වාසය දිනා ගැනීමට හැකි වන අයුරින් හැකිතාක් කටයුතු කරන්න. ඔබේ සිතැඟි, ඔබේ ආකල්ප, ඔබේ සිහින සහ බලාපොරොත්තු, ජීවන ඉලක්ක සහ ඔබේ රුචි අරුචිකම් ආදි සියල්ල ඔහු හෝ ඇය සමඟ බෙදා හදා ගන්න. ඔබ කරන කියන දෑ පිළිබඳව ඔහු හෝ ඇයව නිතර දැනුවත් කරන්න. ඔහුට හෝ ඇයට ඔබව නිසි ලෙස අවබෝධ කර ගැනීමට වඩාත් හොඳ අවස්ථාවන් සලසා දෙන්න. දිනෙන් දින ඔබ දෙදෙනා අතර ගොඩනැගෙන විශ්වාසය, ඔබේ බැඳීම වඩාත් ශක්තිමත් කරනු ලබයි. 2. හොඳ සවන් දෙන්නෙකු වන්න. විවාහ ජීවිතයක් ගත කිරීම යනු ඒක පාර්ශවීය ක්‍රියාවලියක් නොවේ. එබැවින් දෙදෙනකු අතර සබඳතාවකදී එකිනෙකා අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ සඳහා ඔබට ඔබේ ආදරවන්තයාට ඔබේ ආදරවන්තියට එසේත් නැතහොත් ඔබගේ සැමියාට හෝ බිරිඳට හොඳ සවන් දෙන්නෙකු විය යුතුමය. අනෙකාට සවන් දීමේ කුසලතාවය නොමැති කමෙන් බොහෝ විවාහ ජීවිත බිඳී යන අවස්ථා තිබෙනවා. එමෙන්ම අනෙකාගේ සිතැඟි නිසි ලෙස අවබෝධ කර නොගැනීම තුළින් ප්‍රීතිමත් විවාහ ජීවිතයක හිමිකරුවකු වීමට පහසු වන්නේද නැහැ. එබැවින් ඔබේ සවන් දීමේ කුසලතාවය මනා සේ දියුණු කර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. 3. සහකරු හෝ සහකාරිය වෙනුවෙන් කාලය වෙන් කරන්න. ආදර සබඳතාවයක දී මෙන්ම විවාහ ජීවිතය තුළදී ද අනෙකා වෙනුවෙන් සිය කාලය කැප කරනු දැකීම බොහෝ කාන්තාවන් මෙන්ම පිරිමින්ද විශේෂයෙන් ප්‍රිය කරන දෙයක්. ඔහු හෝ ඇයව සතුටු කිරීමට ඔබට කළ හැකි යම් යම් සුවිශේෂී දේ කිරීමට නිතරම උත්සාහ කරන්න. ඔබ කෙතරම් කාර්යබහුල වුවත් ඔහු හෝ ඇය ප්‍රීතියෙන් තැබීමට ඔබ සිය කාලය වෙන් කරන බව දැනෙන්නට හරින්න. එය ප්‍රතිමත් ආදර බැඳීමකට මහත්සේ රුකුල් දෙනු ලඛන්නකි. 4. දෙදෙනා එක් ව විනෝදාංශ වල නියැලෙන්න. ඔබේ විවාහය වඩා ශක්තිමත් එකක් බවට පත්කර ගැනීම සඳහා විනෝදාංශ සහ විවිධ ක්‍රියාකාරකම් වල එක්ව නියැලෙන්න. උදාහරණයක් ලෙස ඔබ චිත්‍රපටයක් නරඹන්නේ නම් ඔබේ සහකරු හෝ සහකාරියද සමග එක්ව ඔබ දෙදෙනාට මේ නැරඹිය හැකිය. නිවස පිරිසිදු කිරීම, මල් වැවීම වැනි ඇතැම් ක්‍රියාවන් ඔබ දෙදෙනාටම සාමූහිකව සිදු කළ හැකිය. මෙවැනි දේ දෙදෙනාම එක්ව සිදු කිරීම තුළින් ඔබේ විවාහයේ ශක්තිමත් බව වඩාත් සුරැකෙනු ඇත. 5. ඔබ ආදරය කරන බව හඟවන්න ඇතැම් ආදරවන්තයන් මෙන්ම විවාහකයන්ද තමන් සියලු කොටස් කරුවාට හෝ සහකාරියට සැබෑ ලෙසම ආදරය කරන නමුත් ඒ බව අනෙකාට අවබෝධ කරවීමට සමත් වන්නේ නැහැ. එය සාර්ථක සහ සම්බන්ධතාවයකට විශාල බාධාවක්. එබැවින් ඔහුට ඇයට ඔබේ ආදරය දැනෙන්නට සලස්වන්න. ඔහු හෝ ඇය ඔබට කොතරම් වටීද යන්න අවංකව ප්‍රකාශ කරන්න. හැකි විටෙක ඔහුට ඇයට ඔබට හැකි අයුරින් තිළිණයක් ලබාදෙන්න. ඔබට හැකි සෑම විටම උණුසුම් හාදුවකින්, සිප වැලඳ ගැනීමකින් ඔවුන්ව සැනසීමට පත් කරන්න. 6. වරදක් වූ විට සමාව අයදින්න. මිනිසුන් වශයෙන් බොහෝවිට අප අතින් විවිධ වැරදි සිදු වෙනවා. එය ඉතාම සාමාන්‍ය දෙයක්. ඔබ අතින් ඔබේ සහකරුට සහකාරියට වරදක් සිදුවුවහොත් නොපැකිළ සමානව ඉල්ලන්න. එපමණක් නොව ඔබ සමාව අයදින විට අවංකව එය සිදු කරන්න. අප අතරින් බොහෝ දෙනෙක් සමාව ඉල්ලා සිටීමට මැලි වෙන අතර එය ශක්තිමත් විවාහ ජීවිත බැඳීමකට කිසිසේත්ම උපකාරයක් වන්නේ නැහැ. 7. හැකි සෑම විටම එකිනෙකාට උපකාර කරන්න. ඔබට හැකි හැම අවස්ථාවකදීම ඔහුට හෝ ඇයට ඔබේ සහයෝගය ලබාදෙන්න. උපකාර කරන්න. උනන්දු කරවන්න. මිනිසුන් ලෙස අප ජීවිතේ බොහෝ අවස්ථාවලදී විවිධ කඩාවැටීම් සහ අභියෝගයන්ට මුහුණ දීමට සිදුවෙනවා. එවන් අවස්ථාවලදී ඔහු හෝ ඇය ලඟින් හිඳ ඔවුන් දිරිමත් කිරීම බොහෝ වටිනා දෙයක් මෙන්ම ඔබ දෙදෙනා අතර ශක්තිමත් බැඳීමක් නිර්මාණය කර ගැනීමට ද ඒ මහඟු අවස්ථාවක් වෙනවා. 8. එකිනෙකාට ගරු කරන්න. සාර්ථක විවාහ ජීවිතයක් සඳහා එකිනෙකාට ගරු කිරීම අත්‍යවශ්‍යම කරුණක් වන බැවින් හැකි හැම විටම ඔබේ සහකරුගේ හෝ සහකාරියගේ සිත නොරිදවීමට වගබලා ගන්න. අකාරුණික වදන් පැවසීමට සහ ඇය හෝ ඔහු අවමානයට පත් වෙන අයුරින් ක්‍රියා නොකිරීමට හැකිතාක් උත්සාහ කරන්න. ඉවසීම හැකිතාක් ප්‍රගුණ කරන්න. සැමවිටම ඇයට හෝ ඔහුට ගෞරවයෙන් සලකන්න. 9. මූල්‍යමය කටයුතු වලදී සහයෝගයෙන් කටයුතු කරන්න. ඇතැම් විවාහකයන් දෙදෙනා ම රැකියාවල යෙදෙන අතර ඇතැම් පවුල් වල දෙදෙනා ගෙන් එක් අයෙකු පමණක් රැකියාවන්හි නිරත වේ. ඔබේ බිරිඳ හෝ සැමියා මුදල් ඉපයුවත් නැතත් මුදල් සම්බන්ධ කටයුතු වලදී ඔබ දෙදෙනාම සහයෝගයෙන් කටයුතු කරන්න. අනෙකාගේ අවශ්‍යතා පිළිබඳ සොයා බැලීමට අමතක නොකරන්න. මෙම ක්‍රමවේදයන් කිසිවක් ඔබට ක්‍රියාත්මක කිරීමට අපහසු ඒවා නොවේ. එබැවින් උත්සාහ කර බලන්න. ඔබට ඉතා පහසුවෙන්ම සාර්ථක විවාහ ජීවිතයක හිමිකරුවකු වීමට හැකියි.

Author
අරෝෂා දසනායක මහත්මිය

Related Articles You May Like